1955 ජනවාරි 6 වන දින මාපුටුගල, පෝරුවදණ්ඩ පනංගල වත්තේදී මෙලොව එළිය දුටු රංහොටිගේ අවුනේරිස් මහතා ජනාධිපති සම්මානලාභී නර්තන ශිල්පී සබරගමු නැටුම් කලාවේ රයිගම් ලකුණ වශයෙන් හැඳින්විය හැකි රංහොටිගේ ජුසේ ගුරුන්නාන්සේගේ පුත‍්‍රරත්නයකි.
පාසල් අධ්‍යාපනයත් සමඟම තම පරපුරේ උරුමය වන සබරගමු නැටුම් කලාවට අත්පොත් තැබූ අවුනේරිස් මහතා තම පිය පරපුරේ උරුමය ලෙස පවත්වාගෙන ආ නැටුම් කලාව ඉදිරියට ගෙන ආ වගකීමට අතගැසීය.
අවුනේරිස් මහතා සබරගමු හේවිසි කලාව පිළිබඳව හසල නිපුනතාවයක් සහිත ශිල්පියෙක් ලෙස ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධව ඇත.
රත්නපුර මහසමන් දේවාලයේ පෙරහැර, බෙල්ලන්විල පෙරහැර, නවගමු දේවාලයේ පෙරහැර, ගංගාරාමයේ පෙරහැර, කැළණි පෙරහැර, ඉංගිරිය ශ‍්‍රී බෝධිරාජ විහාරයේ පෙරහැර ආදී වාර්ෂිකව පවත්වන්නා වූ සෑම පෙරහැරකම අනිවාර්යයෙන්ම සහභාගී වන ශිල්පියෙකු ලෙස අවුනේරිස් මහතා හැඳින්විය හැක.
එපමණක් නොව ගම ආශි‍්‍රත ප‍්‍රදේශයන්හි පවත්වන උත්සව සහ පිංකම් අවස්ථා වලදී දායකත්වය ලබා දෙන පුද්ගලයෙකි.
සබරගමු නැටුම් කලාව අනාගත පරපුරට දායද කරවීම උදෙසා තම පියා වන ජුසේ ගුරුන්නාන්සේ ආරම්භ කළ පනංගල වත්ත රත්න ජයන්ති කලායතනයේ වර්තමාන කලායතනාධිපති ලෙස කටයුතු කරනු ලබන්නේ අවුනේරිස් මහතාය.
රයිගම් කෝරළයේ සබරගමු නර්තන කලාවේ සලකුණ තබන්නට තම පියා වන ජුසේ ගුරුන්නාන්සේ දැරූ උත්සාහය මල්ඵල ගැනීමට අවුනේරිස් මහතා ක‍්‍රියාකිරීම හෙළ නර්තන කලාවේ මහත් භාග්‍යකි. එසේම අවුනේරිස් මහතා 2004 වර්ෂයේ ටවර් රඟහලේ පැවති බෙරවාදන අංශයේ ප‍්‍රථම ස්ථානය ලබා ගැනීමට සමත්ව ඇත.
මෙතුමා සබරගමු නැටුම් කලාවට කරනු ලැබූ අනුපමේය සේවය අගය කිරීම් වස් රයිගම් කෝරළාභිමානී කලා කීර්ති ගරු සම්මානයෙන්ද පුදනු ලැබීය.