දහනව වැනි සියවසේ අග භාගයේ මෙරට පහතරට නර්තන ක්‍ෂේත‍්‍රයේ පතල නමක් ඇති කරගෙන සිටි පන්නිපිටියේ උපන් හඳපාන්ගොඩ පදිංචිව සිටි බබානිස් ගුරුන්නාන්සේගේ ඊලඟ පරම්පරාව නියෝජනය කරනු ලැබූයේ ආගිරිස් ගුරුන්නාන්සේ සහ ජානිස් ගුරුන්නාන්සේ ඇතුළු දරු පිරිස විසිනි. පහතරට නර්තන ශිල්පය නැසෙන්නට ඉඩ නොදී අනාගත පරපුරට දායාද කිරීම සදහා තම මුළු ජීවිත කාලයම කැප කළ අතර තමන්ගෙන් පසුව එය රැකගෙන එය ඉදිරියට ගෙනයාම සඳහා කීර්තිමත් දරු පරපුරක් නිර්මාණය කරන ලදී. එසේම ජානිස් ගුරුන්නාන්සේ විසින් පහතරට නර්තන කලාවේ ව්‍යාප්තිය සඳහා විශාල කපු පරම්පරා ගණනාවක් බිහි කිරීමට මූලික විය. හෝකන්දර කපු පරම්පරාව, හෝමාගම කපු පරම්පරාව, වල්ගම කපු පරම්පරාව, උඩුව හොරකැටිය කපු පරම්පරාව,කිදෙල්පිටිය කපු පරම්පරාව, බෝපෙ කපු පරම්පරාව සහ හඳපාන්ගොඩ කපු පරම්පරාව ඒ අතරින් ප‍්‍රධාන වේ.
පරම්පරික ප‍්‍රවීන නර්තන ශිල්පී එන්. එන්. ජානිස් ගුරුන්නාන්සේ සහ එම මහත්මියගේ බාලම දරුවා වශයෙන් 1936 සැප්තැම්බර් මස 7 වන දින මෙලොව එළිය දුටු කුමරුවා එන්.එන්. සේදරමන් නම් විය. ක‍්‍රමයෙන් අකුරු කරන වයසට එළඹෙත්ම හඳපාන්ගොඩ රජයේ විදුහලට ඇතුලත් කරනු ලැබූ සේදරමන් කුමරුවා තම පරම්පරාවෙන් පැවත එන නර්තන ශාස්ත‍්‍රයට වඩා සමීප වූ අතර පාසල් අධ්‍යාපනය පිළිබඳ එතරම් සැලකිල්ලක් නොදැක්වීය. තම පියා වන ප‍්‍රවීන නර්තන ශිල්පී ජානිස් ගුරුන්නාන්සේ මෙන්ම ඔහුගේ සොයුරු ආගිරිස් ගුරුන්නාන්සේ හා ජනාධිපති සම්මානලාභී මීවනපලානේ දානියෙල් ගුරුන්නාන්සේගෙන්ද ගුරුහරුකම් ලබමින් තම නර්තන දිවිය ආලෝකමත් කර ගැනීමට සේදරමන් තරුණයා සමත් විය.
1965 වසරේදී මෙතුමන්ගේ නර්තන දිවියෙහි සුවිශාල වෙනසක් ඇති කළ සන්ධිස්ථානයක් වශයෙන් හැඳින්විය හැක. එනම් එම වසරේ එංගලන්තයේ පැවැත්වූ පොදුරාජ්‍ය මණ්ඩලීය සංස්කෘතික කලා ප‍්‍රසංගයට සහභාගි වීම සඳහා අවස්ථාව ලබා ගැනීමයි. නර්තනයේ මෙන්ම, ගායනයෙහි, වාදනයෙහි, ශාන්තිකර්ම සැරසිලි ආදී සියලූම ශිල්ප ශාස්ත‍්‍රයන් තම ගුරුපියවරුන්ගෙන් උගත් හෙතෙම එම දක්‍ෂතාවයන් නිසාම නර්තන ක්‍ෂේත‍්‍රයේ විවිධ ඉසව් කරා ඇදෙන්නට විය. 1965 වසරේ ලන්ඩන් නුවර පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය කලා උළෙලේදී එඩින්බරෝ ආදිපාදතුමාගෙන් රන් පදක්කම් ලැබූ අතර ඉන්පසුව දිගින් දිගටම පහතරට නර්තන ශිල්පය ලෝපතල කිරීම උදෙසා විවිධ විදේශ රටවල සංචාරය කිරීමට එතුමන්ට අවස්ථාව උදාවිය. එංගලන්තය, කැනඩාව, නවසීලන්තය, ඕස්ටේ‍්‍රලියාව, ඉන්දියාව ආදී විදේශ රටවල් අසූවක පමණ සංචාරය කරමින් පහතරට නර්තන ශිල්පයෙහි දක්‍ෂතා පෙන්වා ඇත.
ප‍්‍රවීන නර්තන ශිල්පී චිත‍්‍රසේනයන් සමඟ සම්බන්ධ වූ සේදරමන් මහතා චිත‍්‍රසේනයන්ගේ සියලූම නිර්මාණ වලට රංගනයෙන් දායක වීමත්, එතුමන් සමඟ විදෙස් රටවල් 58 කට පමණ සහභාගිවීමත් සේදරමන් මැතිඳුන්ගේ නිර්මාණ දිවියේ නොමැකෙන සලකුණු ලෙස මෙහි ලා මතක් කරනු ලබන්නේ ඉමහත් ගෞරවයකිනි. එසේම චිත‍්‍රසේන කලායතනය මඟින් 1970 දී ඉදිරිපත් කළ රංගනයන් සඳහා ඉන්දීය ජනාධිපතිතුමන්ගෙන් රන් කුසලාන ලබා ගැනීමට තරම් සේදරමන් කලා ශිල්පියා වාසනාවන්තයෙක් විය.
1971 දී ශ‍්‍රී ලංකා යුධ හමුදාවට බැඳී එහි පහතරට නර්තන කණ්ඩායම නිර්මාණය කිරීමට පුරෝගාමී වීම මෙතුමා ලද මහත් භාග්‍යයකි. එවකට කර්නල් දිවිතොටවෙළ මහතා කපිතාන් ක්ලැරන්ස් දෙල්වල යන මහතුන් යටතේ යුධ හමුදා සංස්කෘතික කණ්ඩායම නිර්මාණය කළ අතර, වර්තමානයේ යුධ හමුදා පහතරට නර්තන කණ්ඩායම ලබා ඇති සාර්ථකභාවයට මූලික අඩිතාලම වැටුනේ සේදරමන් මැතිතුමාගෙනි.
ටවර්හෝල් රඟහල පදනම සමඟ සම්බන්ධ වූ සේදරමන් කලාකරුවා "ශ‍්‍රී වික‍්‍රම, සිරිසඟ බෝ, සමුද්‍රදේවි", යන නාට්‍ය වලට තම දක්‍ෂතා පෙන්වමින් දායකත්වය ලබාදුන් බවට මෙහිලා සඳහන් කළ හැකිය.
දිවයින පුරා වාර්ෂිකව පවත්වනු ලබන පෙරහැර ගම්මඩු, ශාන්තිකර්ම විවිධ සංස්කෘතික වැඩසටහන් වලට නිරන්තරව සම්බන්ධ වන මෙතුමා බෙල්ලන්විල මහ පෙරහැර, කෝට්ටේ මහ පෙරහැර, නවගමුව පෙරහැර වැනි ප‍්‍රකට පෙරහැර සඳහා නිරන්තරයෙන්ම සහභාගිවීම දැකිය හැකිය. ගම්මඩු, පූනාමඩු, දෙවොල් මඩු, දහඅට සන්නි, කුමාර සමයම, ගරායක් ශාන්ත කර්ම ආදියෙහි හසල දැනුම ඇති ශිල්පියෙකු වූ මෙතුමා පහතරට තෙල්මේ රංගනය ප‍්‍රසාංගික වේදිකාවට රැගෙන ආ ප‍්‍රමුඛතම ශිල්පියෙකු ලෙස නමක් දිනා ඇත.
1990 දශකයේ මුල් භාගයේදී ප‍්‍රවීන සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායකයන් සමඟ ඔහුගේ බවදුක, බවකර්ම චිත‍්‍රපට යුගලයේ නර්තන උපදේශකවරයා ලෙස කළ කාර්යභාරය සේදරමන් මැතිඳුන්ගෙන් හෙළ සිනමා කලාවට සිදුවූ විශිෂ්ට මෙහෙවරක් ලෙස මෙහිලා සඳහන් කළ හැකිය. එසේම පහතරට නර්තන කලාව සම්බන්ධ මාධ්‍යන් ඔස්සේ එතුමන්ගේ අදහස් ඉදිරිපත් කර ඇත. ඒ අතරින් එතුමන් සහභාගී වූ ගුවන්විදුලි, පුවත්පත්, රූපවාහිනී සාකච්ඡුා, ප‍්‍රමාණය අතිවිශාලය එයිනුදු ජාතික රූපවාහිනියේ විකාශනය වූ "අපේ ඇත්තෝ" වැඩසටහන සිරස රූපවාහිනියේ කමත වැඩසටහන, ස්වර්ණවාහිනියේ විකාශය වූ "දෙවොල්මඩු ශාන්තිකර්ම වැඩසටහන" විශේෂ වැඩසටහන් ලෙස සඳහන් කළ හැකිය.
පහතරට නර්තනය පිළිබඳව දිවයිනේ විවිධ ප‍්‍රදේශ වලින් එන ආරාධනා මත සම්පත් දායකයෙක් ලෙස කටයුතු කළ මෙතුමා විශාල ගෝල පිරිසක්ද නිර්මාණය කර ඇත. දිවයිනේ විවිධ ක්‍ෂේත‍්‍ර වල ඉහළ නිලතල දරන අය සිටියි. අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ මෙන්ම ත‍්‍රිවිධ හමුදාවේ, ජාතික තරුණසේවා සභාවේ වැනි රජයේ ඉහළම ආයතන වල එතුමන්ගේ ගෝලබාලයින් සියගණනක් සිටිති. එසේම ආරම්භයේ සිටම මේ වන තෙක්ම පෝරුවදණ්ඩ රත්මල්ගොඩ කරුණාසේන ජයලත් අනුස්මරණ සංස්කෘතික මධ්‍යස්ථානයේ නර්තන උපදේශකවරයා වූයේ මෙතුමාය. අරකාවිල සඳගිරි විහාරයේ නර්තන උපදේශකවරයා වූයේද එතුමන්ය.
ශ‍්‍රී ලාංකීය නර්තන කලාවට කරනු ලැබූ අපමණ මෙහෙවර උදෙසා සේදරමන් මැතිඳුන් විවිධ ප‍්‍රාදේශීය, දිස්ත‍්‍රික්, පළාත්, ජාතික වශයෙන් ප‍්‍රණාමයට ලක් වූ අවස්ථාවන් අතිවිශාලය.
1999 දී සේදරමන් මැතිඳුන්ගේ කලාමෙහෙවර අගය කරනු වස් අතිගරු ජනාධිපතිතුමිය විසින් ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබීමත්, 1994 දී සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් පිරිනමන ලද කලාභූෂණ සම්මානයත්, 2008 හොරණ පැවති ජාතික සාහිත්‍ය කලා මහෝත්සවයේදී ගරු අගමැතිතුමන් විසින් ලැබූ ගරු සම්මානයත් මෙහිලා සඳහන් කළ හැකිය. ඒ අතර තම උපන් ගම වූ හඳපාන්ගොඩ භූමිය අයත් ඉංගිරිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් 2007 වසරේදී පිරිනමනු ලැබූ රයිගම් කෝරළාභිමානී නර්තන ශිරෝමනී ගරු සම්මානය පිළිබඳව එතුමන් කතාකරනු ලැබුයේ අනිකුත් සියලූම අභිමානයන්ට වඩා තම ගමේ ජනතාවගෙන් ලැබූ මෙම සම්මානය අති උතුම් බවයි.
එක්දහස් නවසිය හැටේ දශකයේ මුල් භාගයේදී පමණ ඩබ්.එන්.එම්. ප්‍රනාන්දු මෙනවිය සමග විවාහපත් සේරදමන් මහතා දියණිවරු තිදෙනෙකු සහ එක් පුත්‍රයෙකුගේ පියෙකි. 1990 වසරේදී ජනාධිපති සම්මානයෙන්ද පිදුම්ලද මෙතුමා කලාභූෂණ සම්මානයෙන්ද, 2007 දේශනේතෘ සම්මානයෙන්ද බුහුමන් ලැබීය. තමා උපන් පහතරට නර්ථන සම්ප්‍රධාය ගෝල පිරිසට, නොමසුරුව ලබාදෙමින් දේශීය නර්ථන කලාවට මිණිපහනක් වූ එන්.එන්. සේදරමන් මැතිතුමා (සුදු මාමා) 2010 පෙබරවාරි මස අභවප්‍රාප්ත විය.