×

HOW TO CONTRIBUTE

1 Arrange Your Information
2 Categorize as Article, Photo, News
3 Send it to Us

If you still have problems, please let us know, by sending an email to admin@ingiriyacity.lk. Thank you!

HOURS

Mon-Fri 9:00AM - 6:00PM

FORGOT YOUR DETAILS?

දයාසේන ගුණසිංහ

දයාවෙන් ලොව දෙස බැලූ දයාසේන ගුණසිංහ 1936 ජුනි 13 වනදා ඉංගිරියේදී මෙළොව එළිය දුටුවේය. මතුගම ආනන්ද විද්‍යාලයෙන් සහ හොරණ ශ‍්‍රී පාලි විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ මෙතුමා වැඩිදුර අධ්‍යාපනය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව එහිදී ශාස්ත‍්‍රවේදී උපාධිය ලැබුවේය. ඉන් අනතුරුව තෙවසරක් පමණ ගුරු වෘත්තිය හෙබවූ මෙතුමා ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගමට බැඳී "සිලෝන් ඬේලි නිව්ස්" පත‍්‍රයේ හා සිළුමිණ පත‍්‍රයේ කර්තෘ මණ්ඩලයේ සේවය කළේය. ඉන් අනතුරුව 1981 දී උපාලි පුවත්පත් සමාගම මඟින් ආරම්භ කරන ලද දිවයින ඉරිදා සංග‍්‍රහයේ කර්තෘ මණ්ඩලයට බැඳී සේවය කලේය. පුවත් පත් කලා ජීවිතයේදී තීරු ලිපි ලිවීමට මනා දක්‍ෂතාවයක් දැක්වූ මෙතුමා "රයිගම් රාළ, භූත රිපෝටර, උකුස්සා රණරාළ, සංගුරා" වැනි ආරූඪ නම් වලින් රචිත තීරු ලිපි වලින් අභීත පත‍්‍රකලාවේදියෙකු ලෙස ජනාදරයට පාත‍්‍ර වූයේය.

1974 දී "රන් තැටයක කඳුළු" නමැති කාව්‍ය සංග‍්‍රහය රචනා කරමින් ග‍්‍රන්ථකරණයට පිවිසි මෙතුමා එම වසරේ හොඳම කාව්‍ය සංග‍්‍රහයට හිමි රාජ්‍ය සම්මානයද ලබා ගත්තේය. මෙතුමාගේ "රන් තැටියක කඳුළු" කාව්‍ය නිර්මාණයේ එන එනමින් යුත් පද්‍ය පන්තිය මෙසේය.

මා පමණි ඔබ කැටුව ආවේ
මම ද යමි දියණියනි
මොහොතකින් සඳ ඒවි තනියට
රන් තැටිය පුරවා කඳුලින්

මෙතෙක් ලොවේ නොඇසුව
මියුරු නැළවිලි ගී
ලයට කැටි කොට නිදයි ඔබෙ මව
අවදි වන ඇසිපියනේ
බිඳී සුන්වන ලොවක
බිහි නොවූ හෙට දවස
ඇය නොදත් රහස දැන
කාලයේ ගැබ තුලෙහි
ඉකිබිඳියි කම්පාව

දස එකඩ මසක් ඈ රැකි
සෙනෙහසේ නිධානය
වෙස් මුහුණ තුලට වූ බහිරවයන්
නුහුරු බස් තෙපළමින්
වට වෙමින් අඬු නියනේ
පැහැර සඟවන අතර
බලා සිටියෙමි කොනක
ගොළු වෙමින් අසරණව

සෙමෙන් තව තව සෙමෙන්
පස් පිඩැල් පෙරළන්න
මවගෙ ඇකයෙහි පහස
නොදත් දැරියකි සිඟිති

කිරි ගරුඬ කොත් හෙළන
අඳුරු සෙවණැලි අතර
නුහුරු නුපුරුදු ලොවක
සැතපෙන්න දියණියනි

මොහොතකින් සඳ ඒවි තනියට
රන් තැටිය පුරවා කඳුලින්

මත්පැන් වීදුරුවකට, බත් පිඟානකට තම ආත්මය පාවා දෙන වත්මන් ඊනියා මාධ්‍යවේදීන් නොව සැබැවින්ම අභීත පත‍්‍ර කලාවේදියෙක් ලෙස දයාසේන ගුණසිංහයන් හඳුන්වා දිය හැකිය. උකුස්සා, රයිගම රාළ බඳු ඔහුගේ සුප‍්‍රසිද්ධ තීරු ලිපි තුළින් පහර දිය යුතු තැන්වලට මෙතුමා නොබියව පහර දුන්නේය. හෙළිකල යුතු දෑ නොවලහා හෙළි කළේය.

අපක්‍ෂපාතී මාධ්‍යවේදියෙකු වූ මෙතුමා සෑම විටම තැලෙන පෑගෙන මිනිසුන් හා පක්‍ෂපාතී විය. කම්කරු සටන් වලදී කම්කරුවන් හා බැඳී සිටිමින් සියල්ලටම නොබියව මුහුණ දුන්නේය.

දයාසේන ගුණසිංහයන් පුවත්පත් කලාවට පමණක් නොව සාහිත්‍ය නිර්මාණකරනයට උපන්හපන්කම් දැක්වූවෙකි. "කැනල් පාරේ නිශාචරයෝ" හා "කේතුමතී හෝටලයේ රාත‍්‍රියක්" යන කෙටි කතා රචනාකරමින් මෙතුමා ඉමහත් කීර්තියට පත්විය. එපමණක් ද නොව "නොවදිමි සිදුහත්", "දොරමඩලාව" ආදී කාව්‍ය සංග‍්‍රහ රචනා කරමින් කාව්‍යකරණයේ නව මංපෙත් විවර කිරීමට මෙතුමා සමත් විය.

1988 - 1989 යුගයෙන් පසු ඔහු පළකළ දොරමඩලාව කාව්‍ය සංග‍්‍රයේ එන එනමින් යුත් පද්‍ය පන්තිය මෙසේය.

ඉර හඳ පවතින තාක් කල්
මල් පිපෙනු තහනම්
පැණ වී අණක් රජ
පලදී පවක් පෙර
දුඟද වූ මල් සුවඳ

හිරුගේ පැහැය ලැබ
සඳුගේ රුසිර ලැබ
සුළඟින් සුවද ලැබ
මල් පිපුණි පෙර ලෙස
නොතකමින් රජ අණ

ගුගුරු හඬ තැලී රජ
වනසව් සියලූ මල්
විස හතු විලස මතුවන
දියගොඩ සියලූ තැන
නොතකා වැයද වෙහෙසද

මේ ආකාරයට සිංහල කලා ක්‍ෂේත‍්‍රයට අනුපමේය සේවයක් කළ ගුරුවරයෙකු, කවියෙකු, කතාකරුවෙකු, විචාරකයෙකු, පෙරළිකාරයෙකු හා පුවත්පත් කලාවේදියෙකු වූ දයාසේන ගුණසිංහ මහතා 1996 ඔක්තෝම්බර් 07 වැනිදා දැයෙන් සමුගත්තද ඔහුගේ නාමය කලා ලොවේ සදා රැඳී තිබේ.

1936 ජූනි 13 වැනි දා ඉංගිරියේදී උපත ලැබ 1996 ඔක්තෝබර් 07 වැනිදා මහරගම දී කලුරිය කළේය. මතුගම ආනන්ද විද්‍යාලයෙන් සහ හොරණ ශ්‍රීපාලි විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලැබීමෙන් අනතුරුව තෙවසරක පමණ කාලයක් ගුරුවරයෙකු ලෙස සේවය කළේය. ඉන්පසු ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමට බැඳී ''සිලෝන් ඩේලිනිව්ස්'' පත්‍රයේත් සිළුමිණ පත්‍රයේත් කර්තෘ මණ්ඩලවල සේවය කළේය. 1981 දී උපාලි පුවත්පත් සමාගම විසින් ආරම්භ කරන ලද දිවයින ඉරිදා සංග්‍රහය කර්තෘ මණ්ඩලයට බැඳුනි. පත්‍රකලා ජීවිතයේදී වඩාත් ප්‍රකට වූයේ තීරු ලිපි රචකයෙකු වශයෙනි. රයිගම් රාළ, භූත රිපෝටර්, ලුනටික්කා, උකුස්සා, රණරාළ, සංගුරා වැනි ආරූඩ නම්වලින් රචිත එකී තීරු ලිපිවලින් අභීත හා අදීන පත්‍ර කලාවේදියෙකු ලෙස ජනාදරයට පාත්‍රවූයේය. ග්‍රන්ථකරණයට ප්‍රවිෂ්ට වූයේ 1974 දී රන් තැටියක කඳුළු නමැති කාව්‍ය සංග්‍රහය පළකරමිනි. එයට එම වසරේ හොඳම කාව්‍ය සංග්‍රහයට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි විය. එතැන් සිට පළකෙරුනු නිර්මාණ පෙළ අතර නොවඳිමි සිදුහත්, දොරමඩලාව යන කාව්‍ය සංග්‍රහයෝ ද කැනල්පාරේ නිශාචරයෝ (1986 රාජ්‍ය සාහිත්‍ය සම්මාන), කේතුමති හෝටලයේ රාත්‍රියක් (1990 රාජ්‍ය සාහිත්‍ය සම්මාන) යන කෙටි කතා සංග්‍රහයෝ ද පොදු ජනයාගේ මිනිහෙක්, නදී තෙර කුමරිය වැනි පරිවර්තන නිර්මාණ ද වෙත්. කලුරිය කරන විට සිව්දෙස නමැති වාර ප්‍රකාශනයෙහි සංස්කාරකවරයා ලෙස සේවය කරමින් සිටියේය.

උපුටනය : නූතන පද්‍ය කාව්‍ය සංහිතා - සුනිල් ආරියරත්න

TOP