×

HOW TO CONTRIBUTE

1 Arrange Your Information
2 Categorize as Article, Photo, News
3 Send it to Us

If you still have problems, please let us know, by sending an email to admin@ingiriyacity.lk. Thank you!

HOURS

Mon-Fri 9:00AM - 6:00PM

FORGOT YOUR DETAILS?

පුළුක්කුට්ටිගේ දොන් ආරිය අබේරත්න

1943 අගෝස්තු මස පළමු දින හඳපාන්ගොඩ බටුගම්පළ ග‍්‍රාමයේදී මෙලොව එළිය දුටු ආරිය අබේරත්න මහතා බටුගම්පළ ප‍්‍රාථමික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබුවේය. අනතුරුව හඳපාන්ගොඩ මහා විදුහලට ඇතුළත්ව අධ්‍යාපනය ලැබූ අතර වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා හොරණ තක්‍ෂිලා විදුහලට ඇතුළත් විය. එහි අධ්‍යාපනය නිම වීමත් සමඟ ශිෂ්‍ය ගුරු විභාගයට පෙනී සිට ඉන් සමත්ව හඳපාන්ගොඩ විද්‍යාලයේ ගුරුවරයෙක් ලෙස සේවය ආරම්භ කළේය.

විද්‍යා අංශයෙන් ඉගෙන ගණිත පුහුණු ගුරුවරයෙකු ලෙස කටයුතු කළ ආරිය අබේරත්න මහතා 1986 වසරේ ජාතික සංගීත විභාගය (අවසාන) තබ්ලා සමත් විය. අනතුරුව 1987 වසරේදී භාත්ඛණ්ඩ සංගීත පීඨයේ තබ්ලා (I) කොටස විශාරද උපාධියද සමත් වීමට ආරිය අබේරත්න මහතාට හැකි විය.

ආරිය අබේරත්න මහතා 1984 දී ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යාපන සේවයේ බාහිර නිෂ්පාදකවරයෙක් ලෙස ද පුහුණුව ලැබීය. අනතුරුව ජාතික රූපවාහිනියේ "සාරංගි" වැඩසටහනට ඩබ්.බී.මකුලොලූව මහතා හා ලයනල් රන්වල මහතා සමඟ එක්ව "ගුරුගෙදර" වැඩසටහන ඉදිරිපත් කළේය. ශ‍්‍රී ලංකා ගුවන්විදුලියේ භක්ති ගීත, මාසික රැඟුම, ගීත නාටක, මියුරස වින්දන, සොඳුරු සෙවන, සරල ගී, විරිඳු වැඩසටහන් වලට සහභාගි වීම පමණක් නොව ගුවන් විදුලි නිෂ්පාදකවරයෙක් ලෙස ගණිත සංකල්ප, පියවි ලොව, ගුරුසිසු හමුව ආදී වැඩසටහන් එතුමා විසින් නිෂ්පාදනය කොට ඇත.

අබේරත්න මහතා නාට්‍ය ශිල්පියෙක් ලෙස ලයනල් රන්වල මහතාගේ "කාලගෝල" ටවර්හෝල් පදනම විසින් නිපැයූ හෙන්රි ජයසේන මහතාගේ "සිරිසඟබෝ" නාටකයන් වල රඟපෑ අතර මහරගම ගුරු විද්‍යාලයේ ශිෂ්‍යයෙකුව සිටියදී "නිවුණු ගිනි, මී මලී, ධවලහස්ථි" යන නාට්‍ය වල රඟපෑමෙන් ගායනයෙන් හා වාදනයෙන් සම්බන්ධ වී දස්කම් පෙන්වා ඇත.

එසේම ප‍්‍රාදේශීයව සිදුකරන නාට්‍ය වලට භක්ති ගීත වැඩසටහන් රාශියක් සඳහා සංගීත අධ්‍යක්‍ෂණයෙන් දායක විය.

"ගුරුපුද" කැසට්පටය හා සංයුක්ත තැටිය එළිදැක්වීම ආරිය අබේරත්න මහතාගේ කලා ජීවිතයේ සංධිස්ථානයකි. හඳපාන්ගොඩ "පැහැසර හෙළ කලා කෙත" සංවිධානයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ආරිය අබේරත්න මහතා හඳපාන්ගොඩ ජනකලා කේන්ද්‍රය ආරම්භ කිරීමේ පුරෝගාමියාද විය.

ඉංගිරිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙහෙය වූ "ආනන්දයෙන් ප‍්‍රඥාවට" සංස්කෘතික සංවර්ධන වැඩසටහනෙහි ගුරු උපදේශකවරයෙක් ලෙස ද අබේරත්න මහතා කටයුතු කළේය.

ආරිය අබේරත්න කලාකරුවාණන්ට විවිධ සංවිධාන තුලින් එතුමාගේ සේවය අගය කිරීම වස් විවිධ ගෞරව සම්මාන ලබාදී ඇත.

ඉංගිරිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් 2007 වසරේ එතුමා "රයිගම් කොරළාභිමානී සත්සර ශිරෝමණී" ගෞරව සම්මානයෙන් පුදනු ලැබීය.

1974 වර්ෂයේදී සුමනා ගුණතිලක මෙනවිය හා විවාහපත්ව දරු තිදෙනෙකුගේ සාඩම්බර පියෙක්ව විවිධ ක්‍ෂේත‍්‍රයන් වල දස්කම් පාමින් හෙළ කලාවට විශිෂ්ට සේවාවක් කළ ආරිය අබේරත්න කලාකරුවා 2008 දෙසැම්බර් මස මෙලොවින් සමුගත්තේය.

TOP