×

HOW TO CONTRIBUTE

1 Arrange Your Information
2 Categorize as Article, Photo, News
3 Send it to Us

If you still have problems, please let us know, by sending an email to admin@ingiriyacity.lk. Thank you!

HOURS

Mon-Fri 9:00AM - 6:00PM

FORGOT YOUR DETAILS?

දීපාලෝක මහා විහාරය

විහාරස්ථානයේ නම

-

දීපාලෝක මහා විහාරය
ආරම්භක වර්ෂය

-

1875දී පමණ
ලිපිනය

-

ශ්‍රී ධර්මාරාම මාවත, ඉංගිරිය
විහාරාධිපති නාහිමි

-

පූජ්‍ය මුදුන්කොටුවේ ශාන්තසිරි ස්වාමීන් වහන්සේ
පිහිටීම

-

ඉංගිරිය මංසන්දියේ සිට ශ්‍රී ධර්මාරාම මාවතේ (හල්වතුර පාරේ) මීටර් 100ක් පමණ දුරින් විහාරය පිහිටා ඇත.
ලියාපදිංචි අංකය

-

බෞ.කො/වි/හා/දෙ/03/10/015
දුරකථන අංකය

-

034-2269342
විස්තරය

-

කෝට්ටේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ ගල්ගොඩ ශ්‍රී මහා පාර්ශවයට අයත් දීපාලෝක මහා විහාරයෙහි දැනට ස්වාමීන් වහන්සේලා 28 නමක් පමණ වැඩවාසය කරයි. මෙම විහාරය අනුබද්ධව පවත්වාගෙන යනු ලබන ශ්‍රී ධර්මෝදය දහම් පාසලෙහි ප්‍රධානාචාර්යධූරය ලුණුගම්වෙහෙරේ විනීත හිමියන් විසින් දරනු ලබයි. ගුරුභවතුන් 28 දෙනෙකුගෙන් යුත් ආචාර්ය මණ්ඩලයකින් සමන්විත මෙම දහම් පාසලෙහි සිසුන් 1520ක් පමණ දහම් අධ්‍යාපනය ලබයි.

 

ආරම්භයේදී මෙම විහාරයට ස්ථිර හිමිනමක් නොසිටි අතර පලාතොට ගංගාරාම විහාරාධිපති පූජ්‍ය කිරිඇල්ලේ ශ්‍රී විමලසාර නාහිමි වහන්සේ කළුගං නදිය දිගේ රත්නපුරය දක්වා ගමන් කිරීමේදී නැවතීමට මෙම ස්ථානයේ ආවාසයක් තනා ඇත. මෙයට සමගාමීව ඉඩංගොඩ බෝධිරුක්ඛාරාම පන්සලද ආරම්භ කරන ලදී. මෙම ආවාසයේ ස්ථිර හිමිනමක් වැඩ නොසිටි අතර පූජ්‍ය කිරිඇල්ලේ ශ්‍රී විමලසාර හිමියන් මෙම ස්ථානයට වැඩම කළ විට ප්‍රදේශවාසීන් උන්වහන්සේට දන් පිළිගන්වා ඇත. එම නිසා 1896 සැප්තැම්බර් 27 වන දින හඳපාන්ගොඩ ගනේ විහාරවාසී පූජ්‍ය සකමුනේ ජනසෝභන හිමි ඇතුළු දායකාරකාදීන් 20 දෙනෙකුගෙන් යුත් පිරිසක් කළුතර පලාතොට ගංගාරාම විහාරයට ගොස් පූජ්‍ය කිරිඇල්ලේ ශ්‍රී විමලසාර නාහිමියන් හමුවී මෙම විහාරයට ස්ථිර ස්වාමීන් වහන්සේ නමක් ලබාදෙන ලෙස ඉල්ලා ඇත. විශේෂයෙන්ම වගවත්තේ ශ්‍රී සුමන හාමුදුරුවන් ලබාදෙන ලෙස ඉල්ලා ඇත. එම බලවත් ඉල්ලීම නිසා පූජ්‍ය කිරිඇල්ලේ ශ්‍රී විමලසාර නාහිමියන් සතුවූ මෙම විහාරය ස්ථිර පවත්වාගෙන යෑම සඳහා උන්වහන්සේගේ දක්ෂ ශිෂ්‍යයකු වන පූජ්‍ය වගවත්තේ ශ්‍රී සුමන හිමියන් 1896 ඔක්තෝම්බර් 27 වන දින මෙම පන්සලට වැඩම කර ඇත. ඉන් අනතුරුව මෙම විහාරයේ විහාර මන්දිරය සාදන ලද අතර බෝධීන් වහන්සේ රෝපණය කර විහාරයේ ආගමික වතාවත් නිසි පරිදි සිදුකිරීම ආරම්භ වූයේ උන්වහන්සේගේ පැමිණීමත් සමගයි. මෙම කාලය වනවිට මෙම ප්‍රදේශයේ මිශනාරි ආගම දැඩි ලෙස ව්‍යාප්තව පැවති කාලයක් විය. එම නිසා බෞද්ධ පුනර්ජීවනය ඇති කිරීමට උන්වහන්සේ විශාල කාර්යභාරයක් ඉටුකරයි. පූජ්‍ය වගවත්තේ ශ්‍රී සුමන නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් බෞද්ධ ජනතාවගේ පුනර්ජීවනය ඇති කිරීම සඳහා බෞද්ධ මිශ්‍ර පඨශාලාව ආරම්භ කරන ලදී. පසුව මෙම පාඨශාලාව රජයේ පාසලක් බවට පත්වී ඇති අතර වර්තමාන සුමනජෝති විද්‍යාලය ආරම්භ කරන ලද්දේ වගවත්තේ ශ්‍රී සුමනජෝති නාහිමිපාණන් වහන්සේය. කෝට්ටේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ සබරගමු පළාත ප්‍රධාන සංඝනායක පදවිය වගවත්තේ ශ්‍රී සුමනජෝති නාහිමිපාණන් වහන්සේට හිමිවිය. දීපාලෝක විහාරය ගොඩනැගීමටත් වර්තමාන සුමනජෝති විද්‍යාලය ආරම්භ කිරීමටත් මුල් වූ උන්වහන්සේ 1950 මාර්තු 15 වන දින අපවත් විය.

වගවත්තේ ශ්‍රී සුමනජෝති නාහිමිපාණන් වහන්සේට ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා දස නමකි.

  • අරකාවිල ජිනරතන හිමි
  • කඳනපිටියේ පඤ්ඤාරතන හිමි
  • ඉංගිරියේ ධර්මාරාම හිමි
  • ඉංගිරියේ සෝමාලංකාර හිමි
  • ඉංගිරියේ ඛේමානන්ද හිමි
  • කරගම්පිටියේ ධම්මතිලක හිමි
  • කිරිඇල්ලේ ශ්‍රී සරණංකර හිමි
  • ගලතුරේ මේධානන්ද හිමි
  • කිරිඇල්ලේ ඡන්දවිමල හිමි
  • කිරිඇල්ලේ ධම්මික හිමි

වගවත්තේ ශ්‍රී සුමනජෝති නාහිමියන් අපවත් වීමෙන් පසුව උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය අරකාවිල ජිනරතන හිමියන්ට මෙම විහාරයේ නායකත්වය හිමි විය යුතුය. නමුත් උන් වහන්සේ නායකත්වය භාර නොගනී. පසුව උන්වහන්සේගේ දෙවැනි ශිෂ්‍ය පූජ්‍ය කඳනපිටියේ පඤ්ඤාරතන හිමි මෙම විහාරයේ නායක නාහිමි බවට පත්විය. කඳනපිටියේ පඤ්ඤාරතන හිමියන් 1950 ජූලි 31 අපවත් වීමෙන් පසුව පූජ්‍ය ඉංගිරියේ ධර්මාරාම හිමි විහාරාධිපති නාහිමි බවට පත්විය. උන්වහන්සේගේ නායකත්වය යටතේ විහාරයට නිත්‍ය ධර්මශාලාවක් සකස් කරන ලදී. එසේම එම කාලයේදී පැරණි සංඝාවාසයේ වැඩ ආරම්භ කරන ලදී. මෙම කාලයේදී ප්‍රදේශයේ ජනතාව මිෂනාරි දහමින් මුදවා ගැනීම සඳහා උන්වහන්සේ විශාල කාර්යභාරයක් සිදු කරන ලදී. මෙම කාලය වන විට මෙම විහාරයට ඉඩංගොඩ බෝධිරුක්ඛාරාමය, ඇල්ලගාව සාංඝිකාරාමය, දේවරක්ෂිතාරාමය, මුදුන්කොටුවේ මහින්දාරාමය, ආදී විහාර 12ක් අයත් විය. පූජ්‍ය ඉංගිරියේ ධර්මාරාම නාහිමියන් විසින් දෙහිවල කරගම්පිටිය ශ්‍රී ධර්මාරාම විහාරය ආරම්භ කරන ලදී. උන්වහන්සේට ශිෂ්‍යවරයන් වහන්සේලා තුන් නමක් සිටියහ එනම්,

  • පූජ්‍ය හිඳුරංගල සෝපිත හිමි
  • පූජ්‍ය අයගම රේවත හිමි
  • පූජ්‍ය අයගම විජිත හිමි වශයෙනි

ගල්ගොඩ ශ්‍රී මහා විහාර පාර්ශවයේ ප්‍රධාන සංඝනායක පදවිය ඉංගිරියේ ශ්‍රී ධර්මාරාම නාහිමිපාණන් වහන්සේට හිමි විය. උන් වහන්සේගේ කාලයේදී නැදුන් රජ මහා විහාරස්ථානයට අයත්ව තිබූ හිඳුරංගල ශ්‍රී නාගරුක්ඛාරාම විහාරය මෙම විහාර පරම්පරාවේ පාලනයට පරිත්‍යාග කරන ලදී. මෙම විහාරයේ උන්නතිය උදෙසා විශාල සේවාවක් කළ උන් වහන්සේ 1976 ජනවාරි 16 වන දින අපවත් වූ සේක.

කළුතර පලාකොට ගංගාරාම විහාරයේ පූජ්‍ය කිරිඇල්ලේ විමලසාර නාහිමියන්ගේ ශිෂ්‍ය දහස දෙනා විසින් ඇතිකර ගෙන තිබූ සංඝ සම්මුතිය අනුව පූජ්‍ය ඉංගිරියේ ධර්මාරාම නාහිමියන්ගෙන් පසුව විහාරාධිපතිධූරයට පත්විය යුතු වන්නේ ඉංගිරියේ සෝමාලංකාර හිමියන්ය. නමුත් විහාරස්ථාන ගණනාවක් පාලනය වන මූල මහා විහාරස්ථානයේ විහාරාධිපත්වයෙහි වගකීම් සහගහ බව දැරිය නොහැකි බව පවසා උන්වහන්සේ විහාරාධිපතිත්වය ප්‍රතික්ෂේප කරන ලදී. එම නිසා ඊලඟ සංඝදරයා වූ ඉංගිරියේ ඛේමානන්ද නාහිමියන් විහාරාධිපති ධූරයට පත්විය.

පූජ්‍ය ඉංගිරියේ ඛේමානන්ද නාහිමිපාණන් වහන්සේගේ පාලනය පැවති වකවානුවේදී විහාරස්ථානයේ භෞතික සම්පත් සංවර්ධනය කිරීමට මූලික අවධානය යොමු විය. එහි පළමු පියවර වශයෙන් පැරණි විහාර මන්දිරය වෙනුවට අලුත් විහාර මන්දිරයක් ඉදිකර එවකට ජනාධිපති ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ආර්යාව වන හේමා ප්‍රේමදාස මැතිණියගේ සුරතින් මෙම දර්ශනීය වූ ගාම්භීර වූත් විහාර මන්දිරය විවෘත කරන ලදී. ඊලඟ අභිප්‍රාය වූයේ විහාරස්ථානයට චෛත්‍ය රාජයාණන් වහන්සේ නමක් ඉදිකිරීම ආරම්භ කිරීම වුවත් උන්වහන්සේ දැඩි ලෙස අසනීපවීම නිසා එය ව්‍යර්ථ විය. ඉංගිරියේ ඛේමානන්ද නාහිමිපාණන්ට ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා දෙනමක් සිටියහ. එනම්,

  • පූජ්‍ය බෙන්තර නාරද හිමි
  • පූජ්‍ය ඉංගිරියේ විපුලසාර හිමි

මෙම විහාරස්ථානයේ උන්නතිය උදෙසා මහත් සේවයක් කළ උන්වහන්සේ අසනීප තත්ත්වයෙන් සිටි උන්වහන්සේ 1992 අගෝස්තු මස 10 වන දින අපවත් වී වදාලහ.

පූජ්‍ය ඉංගිරියේ ඛේමානන්ද විහාරාධිපති නාහිමියන්ගෙන් පසුව සඟ පිළිවෙලෙහි වැඩිමහල් සහෝදර හිමියන් වූ කිරිඇල්ලේ සරණංකර හිමියන් විහාරාධිපතිත්වයට පත්විය. ඒහා සමගම දීපාලෝක විහාරස්ථානයේ විහාරාධිකාරී ධූරය හෙවත් වැඩබලන විහාරාධිපතිත්වයෙහි වගකීම බෙන්තර නාරද හිමියන්ට පැවරිණි. මෙම විහාරස්ථානයෙහි පැවති විශේෂ ආගමික වැඩසටහන් සියල්ලටම පාහේ උන්වහන්සේ වැඩම කරවා නායකත්වය ලබා දුන් නමුත් උන්වහන්සේ අපවත් වන තුරුම නිත්‍ය වාසස්ථානය වූයේ කොළඹ 7 බුලර්ස් පටුමග ශ්‍රී ජිනේන්ද්‍රාරාම විහාරස්ථානයයි.

පූජ්‍ය බෙන්තර නාරද හිමියන්ගේ විහාරාධිකාරීත්වය යටතේ රජමහා විහාරය තුල සිදු වූ සුවිශේෂී කාර්යයක් වූයේ ධර්මාරාම නාහිමිපාණන් වහන්සේගෙන් පසුව ක්‍රමයෙන් අකර්මන්‍ය භාවයට පත්ව තිබූ මහා විහාරයේ විද්‍යාවර්ධන පිරිවෙනේ 1994දී පූජ්‍ය කිරිඇල්ලේ සරණංකර නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පූජ්‍ය බෙන්තර නාරද හිමියන්ගේ කෘත්‍යාධිකාරීත්වය යටතේ නැවත ආරම්භ කරන ලදී. පූජ්‍ය බෙන්තර නාරද හිමියන් මුල් කාලයේදී සතර පේරුවේ දායක දායිකාවන් ඒකරාශී කර ගනිමින් මහා විහාරස්ථානයට හා ඊට අනුබද්ධිත විහාරස්ථාන වලට මහත් සේවාවක් සිදු කළහ. නමුත් උන්වහන්සේගේ අවසාන කාල පරිච්ඡේදය දීපාලෝක විහාරස්ථානයෙහි අඳුරු කාල පරිච්ඡේදයක් විය. 2002 වර්ෂයේ අප්‍රේල් 16 වන දින උන්වහන්සේ විහාරාධිකාරී ධූරයෙන් ඉවත්ව පසුව උපැවිදිභාවයට පත්වූහ.

දීපාලෝක විහාරස්ථානය අරාජිකභාවයෙන් නැවත ගොඩනැංවීම සඳහාත් විහාරස්ථානයේ අභිමානය සහ ගෞරවය ගොඩනැංවීම සඳහාත් මෙම විහාරස්ථානයේ විහාරාධිපති කිරිඇල්ලේ සරණංකර විහාරාධිපති නාහිමිපාණන් වහන්සේ ජ්‍යෝෂ්ඨ ශිෂ්‍ය එවකට හිඳුරංගල ශ්‍රී නාගරුක්ඛාරාම විහාරස්ථානයේ වැඩ විසූ පූජ්‍ය මුදුන්කොටුවේ ශාන්තසිරි හිමිපාණන් වහන්සේ විහාරාධිපති නාහිමිපාණන් වහන්සේගේ බලවත් ඉල්ලීමද, එවක නැදුම් රජමහා විහාරාධිපතිව වැඩ විසූ ශ්‍රී පාදස්ථානාධිපති ධූරය හෙබවූ හඳපාන්ගොඩ ශ්‍රී විමල නාහිමිපාණන් වහන්සේගේ ඉල්ලීමද අනුව 2002 අප්‍රේල් මස 29 වන දින දීපාලෝක මහා විහාරස්ථානයේ විහාරාධිනාරී වහන්සේ ලෙස පත්වී වදාලහ.

ශාන්තසිරි හිමිපාණන් වහන්සේ විහාරාධිකාරී නාහිමි ලෙස පත්වන විට මෙම විහාරස්ථානයේ ආගමික හා භෞතික පරිසරය සම්පූර්ණයෙන්ම බිඳ වැටීමට ලක්වී තිබුණි. මෙම කාලය වන විට දන්දෙන දායකයින් සංඛ්‍යාව උපරිම පවුල් 150ක්ද, දහම් පාසල් ශිෂ්‍යයින් සංඛ්‍යාව 100 දක්වා ක්‍රමයෙන් අඩු වන්නට විය. නමුත් වර්තමානය වන විට මෙම තත්ත්වය වෙනස් වී දහම් පාසල් අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව 1200 දක්වා වැඩිවී, ගුරුවරු සංඛ්‍යාවද 35 දක්වා වැඩි වන්නට විය. දීපාලෝක විහාරස්ථාන විද්‍යාවර්ධන පිරිවෙනේ පිරිවෙන් අධ්‍යාපනය හදාරණ භික්ෂූන් වහන්සේලා 45 නමක්ද, ආචාර්ය මණ්ඩලය 7 දෙනෙක් දක්වා වර්ධනය විය.

පිරිවෙනෙහි ශිෂ්‍ය ඌණතාවය මඟහරවමින් 2002 නොවැම්බර් 15 වන දින කිරිඇල්ලේ සරණංකර විහාරාධිපති නාහිමියන්ගේ සහ මුදුන්කොටුවේ ශාන්තසිරි විහාරාධිකාරී නාහිමියන්ගේ ආශිර්වාදයෙන් කුල දරුවන් 12 දෙනෙකු පැවිදි භාවයට පත් කළහ. 2002 වර්ෂයේදී ගමින් ගමට දහම් සිසිල නමින් ධර්මදේශනා වැඩසටහනක් මාස 3ක් පවත්වන ලදී. වර්තමානය වන විහාරස්ථානයේ දායක පවුල් සංඛ්‍යාව 2470ක් පමණ වන අතර ඒ අතුරින් දන් දෙන පිරිස 1998ක් පමණ වේ. 2003 වර්ෂයේ නොවැම්බර් 7 වන දින මෙම විහාරස්ථානයේ තවත් කුල දරුවන් 5 දෙනෙක් පැවිදි කළහ. විහාරස්ථානයට අඩුපාඩුවක්ව පැවති ධර්ම පුස්තකාලය හා දෙමහල් චෛත්‍යරාජයාණන් වහන්සේ නමක් ඉදිකිරීම සඳහා 2006 නොවැම්බර් 03 වන දින මුල්ගල තබන ලදී. එම වසරේදීම අභාවයට යමින් තිබූ පැරණි විහාරය ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කර කුල දරුවන් 7 දෙනෙකු පැවිදි කළහ. 2008 වර්ෂයේදී සක්මන් මළුවක්ද, පිරිවෙන් පුස්තකාල මන්දිරයක් සහ පිරිවෙන් කාර්යාලයක් තැනීමට ආරම්භ කළහ. එම වර්ෂයේදී සිදු කළ භික්ෂූන් වහන්සේලා 11 නමක් උපසම්පදා බවට පත්වීම විශේෂ කාරණයකි. 2009 වර්ෂයේදී භික්ෂූ නේවාසිකාගාරය සහ දහම් පාසල් දෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුල්ගල තබන ලදී. මෙම විහාරස්ථානයේ සප්තමහා දේවාලයක් ඉදිකර ඇත.

දීපාලෝක විහාරස්ථානයේ විහාරාධිපති අතිපූජනීය කිරිඇල්ලේ සරණංකර නාහිමිපාණන් වහන්සේ 2010 ඔක්තෝම්බර් 11 වන දින අපවත් වී වදාලහ. ඉන් පසුව විහාරාධිපති නාහිමියන් වහන්සේගේ අභිමතය පරිදි උන්වහන්සේ සතුව පැවති විහාරස්ථාන සියල්ලෙහිම ආධිපත්‍ය පූජ්‍ය මුදුන්කොටුවේ ශාන්තසිරි නාහිමිපාණන්ට පවරා ඇත. මේ වන විට වැඩ ආරම්භ කිරීමට නියමිත බෝධීන් වහන්සේ වටා ඇති ප්‍රාකාරය පුළුල් කිරීම ඇතුළු වැඩසටහන් ගණනාවක් ආරම්භ කර, දැනට ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ධූරය හොබවමින් උන්වහන්සේ මෙම විහාරස්ථානයේ උන්නතිය උදෙසා විශාල කාර්යභාරයක් ඉටු කරමින් සිටියි.

TOP lotobet güncel giriş - betper yeni giriş - gorabet giriş