වර්ෂ 1947 ඔක්තෝම්බර් දෙවෙනි දින හේවගේ සයිමන් ප්‍රනාන්දු සහ මැගිලින් ප්‍රනාන්දු යුවලට දාව උපත ලැබූ නෝමන් හේවගේ මහතා ඉංගිරිය ගාමිණී මධ්‍ය විද්‍යාලයට ඇතුළත්ව අ.පො.ස. (උ.පෙළ) සමත් වනතුරුම පාසලේ දීප්තිමත් ශිෂ්‍යයකු ලෙස කටයුතු කළේය.
1961 වර්ෂයේ සිට 1968 වර්ෂය දක්වා ඉංගිරිය ප‍්‍රදේශයේ විවෘත වේදිකාවන්හි රඟ දැක්වූ "සීගිරි කාශ්‍යප, වෙස්මුහුණු, හිතක තරම, සටන, යැංකි හටන, තණ්හා ආශා, සිත්පිත් නැති අය, හතර බිහිරි, රන්වැහි" යන වේදිකා නාට්‍ය නෝමන් හේවගේ මහතාගේ පිටපත් රචනාවන් වන අතර ඒවායේ රඟපෑමෙන් ද දායක විය.
ප‍්‍රකට කාටුන් ශිල්පියකු වූ හෙන්රි තෙන්නකෝන්ගේ රචනයකට අනුව 1964 විශාරද පියසිරි විජයරත්නයන් නිශ්පාදනය කළ "රන් කැකිරි" වේදිකා නාට්‍යයේ ප‍්‍රධාන චරිතයට පණ පොවමින් ඉතාමත් ප‍්‍රසාදයට පත්විය.
1976 වසරේ හොරණ සංස්කෘතික සංවිධානය මෙහෙය වූ නාට්‍ය තරඟයට නෝමන් හේවගේ විසින් රචනා කොට නිෂ්පාදනය කළ "මහදැනමුත්තයි ගෝලයෝ රොත්තයි" කෙටි නාට්‍ය සඳහා සම්මාන 06 ක් ලැබුණි. එහිදී හොඳම පිටපත සඳහා වන සම්මානය හා හොඳම සහය නළුවා සම්මානය ලබා ගැනීමට ද නෝමන් හේවගේ මහතා සමත් විය. නෝමන් හේවගේ මහතා 1976 වසරේ කළුතර දිස්ත‍්‍රික් කෙටි නාට්‍ය උළෙලේ හොඳම නළුවා ලෙස සම්මානයට පාත‍්‍ර විය.
ටෙලි නාට්‍යය ක්‍ෂේත‍්‍රයේ අමතක නොවන චරිත කිහිපයකට පන පෙවූ නෝමන් හේවගේ මහතා ඒ සඳහා අත්පොත් තැබුවේ, අජන්තා රණසිංහ මහතාගේ තිර රචනයකට අනුව සුමිත් කුමාර නිෂ්පාදනය කළ "සිරියානිගේ එරබදු මල්" ඒකාංගික ටෙලි නාට්‍යයෙනි. සන්තුස ලියනගේ ගේ "එඬෙිරාගේ රාත‍්‍රිය",ගයාරම්‍ය අල්විස් ගේ "2014" ගාමිණී සුමනසිරි ගේ "සිතින් දිළින්දෙක්", නාලන් මෙන්ඩිස් ගේ "සෙනෙහෙ වන්තයෝ","හිරු කුමාරි" විමලරත්න අධිකාරිගේ "ඉංගම්මාරුව" වැනි ටෙලි නාට්‍ය වල ද රඟපෑමෙන් දායකත්වය සපයා ඇත. එමෙන්ම "සල්ලි තිබුණට මදි" චිත‍්‍රපටියේ රඟපාමින් නෝමන් හේවගේ මහතා චිත‍්‍රපට ක්‍ෂේත‍්‍රයට ද අවතීර්ණ විය.
ගායන ක්‍ෂේත‍්‍රයේ සහජ හැකියාවක් තිබූ නෝමන් හේවගේ මහතා සහභාගී වූ ප‍්‍රථම ගුවන්විදුලි වැඩසටහන "මැලිබන් ගුවන් තොටිල්ල" හිමි විය. ඊට අමතරව "අම්බිකා ගී තරඟයෙන්","ගීතය","නිත්‍යකල්‍යාණි","ගුවන් තොටිල්ල" වැනි වැඩසටහන් වලට ද සහභාගී විය. නෝමන් හේවගේ මහතා "මොළේට බේත්" නමින් ස්වනිර්මාණ ගීත කැසට් පටයක් ද එළි දැක්විය.
නෝමන් හේවගේ මහතා කලා ක්‍ෂේත‍්‍රයට ඉටුකලා වූ මෙහෙවර අගය කරනු වස් ඉංගිරිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් 2007 වසරේ "රයිගම් කෝරළභිමාණී කලාශූරී" ගෞරව සම්මානයෙන් පුදනු ලැබීය.
1972 වර්ෂයේ බී.සිරියාවතී මෙනවිය සමග විවාහපත්ව දියණියකගේ සහ පුතණුවකගේ පියෙක් වන මොහු වෘත්තියෙන් මහජන බැංකුවේ හිටපු ජ්‍යෙෂ්ඨ කළමණාකරුවෙකි. කලා ක්‍ෂේත‍්‍රයේ විවිධ දස්කම් පද නෝමන් හේවගේ කලාකරුවා 2010 ජනවාරි මස අග භාගයේ මෙළොව හැර ගියේය.