අද ඔබව රැගෙන යන්නේ රයිගම් උඩුගහ පත්තුවේ පවතින අපූරු ස්වභාවික පාරිසරික වටිනාකමක් ඇති ස්ථානයක් වූ හොලොම්බුව වෙතය. මෙය පවතින්නේ කලු නදියේය. ඉංගිරිය නගරය පසුකර කිලෝමීටර එකහාමාරක් පමණ ඉදිරියට ගමන් කරන විට දක්නට ලැබෙන පැස්කෝ හෝටලය ඉදිරිපිටින් පවතින ඌරුගල මාර්ගයේ කිලෝමීටර් එකහාමාරක් පමණ ගමන් කිරීමෙන් කාල නදී ඉව්රේ හොලොම්බුව වෙත ගමන් කළ හැකිය.
දුම්බර ඇල්ල වසයි අපි යමු එය මග හැරලා
අලුත් පාරුවේ වාරුවට හේත්තුව ඇරලා
සමන් දෙවි අඩවියට ආයුබෝ කියලා
හොලොම්බු පහනේ කස බී ඉසිඹු කලා
නම්බපාන පාලමෙනුත් එගොඩ වෙලා
හොලොම්බුවේ හදි ගලෙනුත් එගොඩවෙලා
කිඹුලාපාන ගල දැක සංතෝස වෙලා
නාරගල ඇල්ල බැස්සෙමු හවස් වෙලා
නම්බපාන ඇළ නොහොත් නාච්චිමළේ ඇළ නම්බපානෙන් කලු නදිය හා අතිනත ගන්නා ස්ථානය එක් කෝණයකින් දුටු විට දිස් වන්නේ නම්බපාන ඇළට කලු නදිය වැටෙන්නාක් සේය. මෙයට හේතු වී ඇත්තේ මෙම ස්ථානයෙදී කලු ගඟ විශාල වංගුවක් ගන්නා නිසාවෙනි. කලු ගඟේ එක් ජල කඳක් පස්දුන් කොරළ ඉව්රෙන් එම වංගුව ගෙන ගලාගෙන යන අතර නම්බපාන ඇළ මෝයෙන් එක්වෙන ජලයෙන් සිදු කරන බාධාව හේතුකොට තවත් ජලකඳක් එක එල්ලේම ගලා එයි. එසේ එක එල්ලේ එන ජල කඳ දරා ගැනීමට සමත් ගලු ගල් තලාවක් රයිගම් කෝරළ ඉව්රේ පවතී.
මෙම ගල්තලාව ඉව්රේ ගල නමින් හඳුන්වයි. ඉව්රේ ගල ව්‍යවහාරයෙන් ඌරුගල වී ඒ නිසාවෙන් එය පවතින ග්‍රාමය ඌරුගල වී යැයි ප්‍රසිද්ධ මතයක් පවතී. නමුත් පැරැණ්නෝ ඒ මතය ප්‍රතික්ෂේප කරයි. ඔවුන්ගේ මතයට අනුව මෙම ගම්මානයේ පැවති ගල්තලාවක් අසල වල් ඌරන් නිතර ගැවසුණ බැවින් ඌරුගල යන නමය එයට ලැබී පසුව ගම්මානයේ නාමය වූ බවයි.
කෙසේ වෙතත් මෙම ඉව්රේගලේ වදින්නාවූ කාල නදියේ ජල දහර නැවත ආපසු හැරී ගමන් කරද්දී පෙර වන්ගුව ගත් අනෙක් ජල දහර පවුරක් මෙන් බාදාවක් ඇති කරයි. එවිට නැවත එන ජල දහරට ඉව්රේගල වෙත එන ජල දහර හමුවේ. මේ අපූරු පරසර තත්වය වසර දහස් ගානක් සිදුවීම හේතුකොට සුළියක් නිර්මාණය වී, විශාල අගාධයක් නිර්මාණය කර ඇත. ගඟ දියේදී අප මෙවන් සුලි සහිත අගාධයන් හඳුන්වන්නේ වක්කලම් නමිනි. මෙම වක්කලම ගැමි ජනතාව හඳුන් වන්නේ හොලොම්බුව වක්කලම යන නමිනි.
මෙම හොලොම්බුව ගඟ දියේ පවතින වරායක් බදුය. මෙම ස්ථානයේ ඔරු පාරු නවතා ඉව්රේ ගලේ දිග ඇදී විවේකයක් ගන්නට අතීත පාරු කරුවෝ කටයුතු කරන්නට විය. මේ නිසාවෙන් කාලයත් සමග හොලොම්බුව ඇසුරේ තොටුපොලක් නිර්මාණය විය. එය කලු නදියේ සාමාන්‍යයෙන් එහා මෙහා යන ඔරුපාරු නවතා විවේක ගන්නා ස්ථානයක් මෙන්ම ශ්‍රී පාද වන්දනාවේ යන එන්නන්ටද විවේක ස්ථානයක් විය. එමෙන්ම මෙම හොලොම්බුව වක්කලම ඔරුපාරු කරුවන්ට මාරකයක්ද විය. කලුනදියේ පාරු කර්මාන්තයට ආදුනික වූවන් නොසැලකිළිමත්ව සිටියොත් වේගයෙන් ගලාඑන කලුනදියේ ජල පහර සමග ඉව්රේගලේ වැදී පාරුව පෙරළී විනාසවීමටද අවදානමක් පවතී. මේ නිසා මෙවන් වක්කලම් සහිත අනතුරුදායක ස්ථානවල තරමක විසල් පහනක් දැල්වීමද සිරිතක් විය. මෙවන් පහන් සහිත ස්ථාන අතරින් නව වැනි පහන මේ ස්ථානයේ පැවතීම නිසා නමවැනි පහන යන අරුතෙන් නම්බපහන යන නාමය ග්‍රාමයකට ලැබී ඇත. ඌරුගල හා නම්බපාන නමින් හඳුන්වන ගම් දෙක වෙන් වන්නේ මෙම ඉව්රේ ගල්ගලාව අසලිනි.
මෙසේ විවේක ගන්නා ස්ථානයක් වීමෙන් පසුකලක මේ අසල අම්බලමක්, පාරුකරුවන්ට හා මගීන්ට අවශ්යවය සේවා සැපයීමට හා ඔවුන් ගෙනඑන බුඩුමුට්ටු අලෙවි කිරීමට කඩ මණ්ඩියක් හා කලු ගඟ හරහා එහා මෙහා ගමන් කරන ප්‍රභූන්ට තානායමක්ද ඇතිවිය. මෙසේ කලු ගඟේ වැඩ පැමිනි භික්ෂූන් වහන්සේ කෙනෙක් වස් වැසීම හේතු කොට ඌරුගල පිංගොඩැල්ල පංසල ගොඩ නැගීමට පාදක විය.
මෙසේ ඇතිවූ ඌරුගල නම්බපාන නානායම වූකලී වින්වුඩ් තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිටින් කන්ද නැග යායුතු රෙස්ට් ඉන් එක පවතින ස්ථානයේ මෑතක් වන තුරුම පැවතින. අවාසනාවට මේ ඓතිහාසික ගොඩනැගිල්ල කඩා දමන තුරු වගකිවයුතු බලධාරීන් කිසිවෙක් අවධානය යොමු කළේ නැත. වලව්වක් බදුවූ මෙම නිවස වූකලී ඉංග්‍රීසීන් සමග සාකච්ඡාවට ගිය ඇහැලේපොළ අධිකාරම් පවා නැවතී සිටි ස්ථානයකි. වර්තමානයේ මේ ගොඩනැගිල්ල තවදුරටත් දක්නට නැත.
මේ ඇසුරේ අපූරු ජනකතාවක් ඇත. හටන් අප්පුගේ සේනාවේ සිටි පොරෝකාර ජනයා අතීතයේ පදිංචිව සිටියේ මේ හොලොම්බුව ආශ්‍රිත ඌරුගල නම්බපාන ප්‍රදේශයේය. ඇහැලේපොළ නිලමේ මෙම ජනයා කෙරෙහි එතරම් විශ්වාසයක් නොතැබීය. රයිගම වැසියන් රාජ පක්ෂික යැයි ප්‍රචලිතය. මේ නිසාවෙන් නිරුවතින් මොවුන්ගෙන් පිරිසක් දිය නෑමේ ගැටළුවක් පාදක කර ගෙන පොරෝකාර ජනයාව මෙම පෙදෙසින් එළවා දැමූ බවත් ඒ වෙනුවට සබරගොමුවෙන් ඔහුට පක්ෂපාතී සේවා පවුල් කිහිපයක් ගෙන්වා නම්බපාන ඌරුගල ප්‍රදේශවල පදිංචිකරවිය. ගොඩිගමුව, නිරිඇල්ල, මාරපන ආදී වාසගම් දැරනවුන් මෙසේ පදිංචි කරවූවන්ය.
හොලොම්බුවේ සිට මහ ඉංගිරිය දක්වා පෙදෙස පොදුවේ එකල ඌරුගල නමින් හැඳින්විය. පසුව මාර්ග පුලුල්කර ප්‍රතිසංස්කරණය කිරීමේදී පානදුර රත්නපුර පාරට පාදුක්ක පාර මුණගැසෙන හංදිය ඉංගිරිය නමින් ප්‍රචලිත වීමත් සමග ඉංගිරිය නගරය නිර්මාණය වීම ඇරඹිණ. එතෙක් නාගරික ලක්ෂණ පැවතියේ ඌරුගලය.
සටහන හා ඡායාරූප – ජානක තරංග ආරියරත්න